සංගායනා - Sangayana

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

ථේරවාද බුදු සසුනට වර්තමානයේදී බාහිර පාර්ෂවයන්ගෙන් මෙන්ම අභ්‍යන්තරයෙන් ද උපද්‍රව කෙරෙන බව පෙනේ. ඊටම උපකාර වන අයුරින් භික්ෂූන් වහන්සේලා ද ධර්මයෙන් විනයෙන් සමඟිව වසන බවක් නොපෙනේ. ඊට ප්‍රතිකර්ම ලෙස ආරම්භ කර ඇති මෙම වෙබ් අඩවිය අධර්මය බැබළීමත් ධර්මය බැහැර කරනු ලැබීමත්, අවිනය බැබළීමත් විනය බැහැර කරනු ලැබීමත්, අධර්මවාදීන් බලවත්වීමත් ධර්මවාදීන් දුබලවීමත්, අවිනයවාදීන් බලවත්වීමත් විනයවාදීන් දුබලවීමත් වළකාලීමේ උත්සාහයකි.

ධර්මය විනය අරභයා එකිනෙකාට ප්‍රසිද්ධියේ දොස් පවරාගැනීම බුද්ධ ශ්‍රාවකයින්ට නුසුදුසු ක්‍රියාවකි. එවන් අවස්ථාවල සමඟියෙන් ඒ පිළිබඳ සාකච්ඡා කොට එම ගැටලු සමනය කර ගැනීම උතුම් වේ. එසේ වුවත් එකමුතු බවක් නොමැතිව තම තම හිතූ මනාපේට හැසිරෙන පිරිසක් ඇති විට ගැටලු විසඳා ගැනීමට හැකි පරිසරයක් ඒ තුළ නොමැත. මේ හේතුවෙන් අන් අයට ප්‍රසිද්ධියේ දොස් පැවරීම හැර වෙනත් පහසු විකල්පයක් ධර්මවාදී විනයවාදී පිරිසට ද නොමැත. එබැවින් මෙම වෙබ් අඩවියේ ප්‍රසිද්ධියේ කෙරෙන දොස් පවරා ගැනීම් දකින අය කාලානුරූපව ඒ පිළිබඳ උපේක්ෂා සහගත සිත් ඇති කර ගනිත්වා, ධර්මයෙන් විනයෙන් සමඟිය ඇතිකර ගැනීමට උත්සුක වෙත්වා!

ආරාධනය

වර්තමාන පිරිසටත් මතු පිරිසටත් නිර්මල බුදු දහම දායාද කරනු වස් මෙම වෙබ් අඩවිය සමඟ එක්වන ලෙස ධර්මවාදී විනයවාදී ගිහි පැවිදි බුද්ධ ශ්‍රාවකයින් වෙත ගෞරවයෙන් ආරාධනය කරන්නෙමු! සාකච්ඡා මණ්ඩපය ධර්මයෙන් විනයෙන් පිරී යත්වා!

නියාමනය

මෙම වෙබ් අඩවියේ නියාමන කටයුතු පුද්ගලික මතවාදයන්ගෙන් බැහැරව බුදුන් වහන්සේගේ ධර්මයට විනයට අනුකූලව සිදුකරලීමට හැකි සෑම උත්සාහයක්ම ගැනේ. එහිදී අප අතින් අල්පමාත්‍රව හෝ අඩුපාඩු සිදුවෙතොත් නුවනැත්තන් විසින් ධර්මයෙන් විනයෙන්ම අපව නිවැරදි කෙරෙත්වා!

අප සමඟ එක්වන්න

අපගේ දැනුම්දීම ලැබුම පිණිස අපගේ WhatsApp නාලිකාව සමඟ සම්බන්ධ වන්න.